මරණීය තර්ජන එල්ල කරමින් 17 හැවිරිදි පාසල් සිසුවෙකු ලවා මෙහෙයවූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වෙරළබඩ පොලිසිය විසින් හෙළිදරව් කරගෙන තිබේ. නව හෙට්ටිවීදිය ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි සිසුවා පරීක්ෂා කිරීමේදී, ඔහුගේ යට ඇඳුමේ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 120ක් සහ ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 18කට අධික මුදලක් පොලිස් භාරයට ගැනුණි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සිසුවා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බියවැද්දීම්වලට ලක්වී සිටින බවයි. මාස කිහිපයකට පෙර නාඳුනන පුද්ගලයෙකු සිසුවාට මරණීය තර්ජන එල්ල කර ඔහුගේ ජංගම දුරකථන අංකය ලබාගෙන ඇති අතර, එතැන් සිට දුරකථන ඇමතුම් මඟින් ලැබෙන උපදෙස් මත මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස් සහ පෑලියගොඩ ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ඔහුට සිදුවී තිබේ.
අධ්‍යාපනයට දක්ෂ සිසුවෙකු වන මොහු, මරණ බිය හේතුවෙන් අකමැත්තෙන් වුවද මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















