ගොටුකොළ ශාකයට බාහිරින් බෙහෙවින් සමාන, එහෙත් ආහාරයට කිසිසේත්ම නුසුදුසු ආක්‍රමණශීලී ශාකයක් මෙරට තුළ ශීඝ්‍රයෙන් පැතිර යන බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා අනතුරු අඟවයි.
‘මිනි ලෝටස්’ (Mine Louts), ‘රට ගොටුකොළ’ හෝ ‘කොරියන් ගොටුකොළ’ යන නම්වලින් හඳුන්වන මෙම ශාකය, විසිතුරු මත්ස්‍යාගාර සහ පොකුණු සඳහා මෙරටට ගෙන්වා ඇති අතර, මේ වන විට එය ස්වභාවික පරිසරයටත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
මෙම ශාකයේ පත්‍ර ඡත්‍රාකාර හෙවත් කුඩයක හැඩයෙන් යුක්ත වන අතර, පත්‍ර තලය රවුම් වන අතර දාරය රැළි සහිතය. තවද පත්‍රයේ යටි පැත්තට නටුව සම්බන්ධ වී ඇත.
මෙම ශාකය ආහාරයට ගැනීම අතිශය අන්තරායකර බව ජගත් ගුණවර්ධන මහතා අවධාරණය කරයි. එය පසෙහි පවතින බැර ලෝහ විශාල වශයෙන් අවශෝෂණය කර ගැනීමේ හැකියාව ඇති ශාකයකි. එබැවින්, ගොටුකොළ යැයි වරදවා වටහාගෙන මෙම ශාක පත්‍ර ආහාරයට ගැනීමෙන් සෞඛ්‍යමය ගැටලු ඇතිවිය හැකිය.
එසේම, අධික වේගයෙන් වර්ධනය වී භූමිය වසා ගැනීමේ හැකියාව නිසා මෙය අනාගතයේදී බරපතළ ආක්‍රමණශීලී ශාකයක් බවට පත්වීමේ අවදානමක් පවතී. එමනිසා, විසිතුරු ශාකයක් ලෙස හෝ පොකුණු සඳහා මෙම ශාකය භාවිතා කරන්නේ නම්, කිසිදු හේතුවක් මත ඒවා පරිසරයට මුදා නොහැරීමට වගබලා ගන්නා ලෙස ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.














