අනුරාධපුර දිස්ත්‍රික්කයේ උළුක්කුලම සහ ඉලූප්පන්කඩවල ප්‍රදේශවල පැපොල් වගාකරුවන් මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ. තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ගොවීන් සිය වගාවන් අතහැර දැමීමේ තත්ත්වයකට පත්ව ඇත.
වර්තමානයේ පැපොල් වගාවන් විශාල වශයෙන් ව්‍යාප්ත වීම නිසා වෙළෙඳපොළට ලැබෙන සැපයුම ඉහළ ගොස් ඇති අතර, එමගින් මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ බැස තිබේ. පවතින ඉහළ නිෂ්පාදන පිරිවැය හමුවේ, පොහොර, කෘෂි රසායන, ජල සම්පාදනය, ප්‍රවාහනය සහ ශ්‍රමික වැටුප් වැනි වියදම් පවා පියවා ගැනීමට නොහැකි වීම ගොවීන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවයි.
පවතින අර්බුදයට විසඳුම් ලෙස ගොවීන් රජයෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ගොවි නිෂ්පාදන සඳහා ස්ථාවර මිලක් සහතික කරන ලෙසයි. මීට අමතරව, නව අලෙවි මාර්ග හඳුන්වා දීම, විදේශීය වෙළෙඳපොළ වෙත අපනයන අවස්ථා පුළුල් කිරීම සහ අතිරික්ත නිෂ්පාදන වටිනාකම් එකතු කළ නිෂ්පාදන ලෙස සැකසීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් මෙම වගාව තිරසාරව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.














