ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරකට ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් ඇමෙරිකානු හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සහ තවත් අයෙකු අතුරුදහන් වීමත් සමඟ දෙරට අතර පවතින ගැටුම් උග්‍ර අතට හැරී ඇත. මෙම සිදුවීමට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත ඇමෙරිකානු මධ්‍යම විධානය විසින් ඉරානයේ හමුදා ඉලක්ක වෙත නව ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට තර්ජනයක් වන ඉරාන හමුදා ස්ථාන, ලොජිස්ටික් යටිතල පහසුකම් සහ ආයුධ ගබඩා ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර දියත් කර ඇත. දකුණු ඉරානයේ සිරික් ප්‍රදේශයට ආසන්නයේ ප්‍රහාර එල්ල වූ බව වාර්තා වේ. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා මොජ්ටබා ඛාමෙනි ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකාව ගැටුම් උත්සන්න කිරීමේ වන්දිය ගෙවීමට සිදුවන බවයි. සෙනසුරාදා දින ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් කුවේට්, බහරේන්, ජෝර්දානය සහ සෞදි අරාබිය ආශ්‍රිත ඇමෙරිකානු මිත්‍ර පාක්ෂික ස්ථාන සහ හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.
කුවේට්හි කැම්ප් අරිෆ්ජන් හමුදා සහය මධ්‍යස්ථානයට සහ අලි අල් සාලෙම් ගුවන් කඳවුරට ඉරාන ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ. එසේම ජෝර්දානයේ අල් අස්රාක් කඳවුරට එල්ල වූ ප්‍රහාරයකින් ඇමෙරිකානු ප්‍රහාරක යානා කිහිපයක් විනාශ වී ඇති බව ඉරාන මාධ්‍ය පවසයි. සෞදි අරාබියේ යාන්බු තෙල් අපනයන පර්යන්තය ආශ්‍රිතව ද ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් වී ඇත. පෙබරවාරි අග භාගයේ ආරම්භ වූ මෙම යුද්ධය හේතුවෙන් මේ වන විට ඇමෙරිකානු සෙබළුන් 16 දෙනෙකු මියගොස් 420කට අධික පිරිසක් තුවාල ලබා ඇත. ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි පසුගිය සති තුන තුළ ඇමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන වැසියන් 50 දෙනෙකු මියගොස් 500කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් ගමන් ගන්නා හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කර ගැනීම සඳහා දෙපාර්ශවයම උත්සාහයක නිරත වන අතර, මෙම ගැටුම් හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුමට සහ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇත. යුරෝපා සංගමය සහ ගල්ෆ් රාජ්‍යයන් ඉරානයෙන් ඉල්ලා ඇත්තේ නාවික ගමනාගමනයට බාධා කිරීම වහාම නවත්වන ලෙසයි.
















