පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් ‘පැරකුම් ලෙගසි’ සංවර්ධන ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කෙරිණි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ ඇතුමල් වැව ආශ්‍රිතව කයැකින් පහසුකම්, පාරම්පරික බෝට්ටු සවාරි, වනජීවී නැරඹීම සඳහා පහසුකම්, අත්කම් නිර්මාණ ගම්මානයක්, වෙළෙඳ කුටි සහ දේශීය හා විදේශීය ආහාර රසවිඳීමේ මධ්‍යස්ථාන ඇතුළු සංචාරක පහසුකම් රැසක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම, ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.
දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත සංචාරක ගම්මාන වැඩසටහන් මාලාවේ පළමු අදියර මෙය බව අමාත්‍යවරයා සඳහන් කළේය. “ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 618ක් ද වෙන් කර ඇති අතර, මෙම ව්‍යාපෘති මගින් නව ව්‍යාපාරික අවස්ථා බිහිකිරීම සහ විදේශ විනිමය ඉපැයීම අපේක්ෂා කෙරේ.
එසේම, දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා 2026 අයවැයෙන් රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදන වෙන් කර ඇත. මහජන බදු මුදල් යොදවා සිදුකරන මෙම ව්‍යාපෘති විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව කළමනාකරණය කර ජනතාවට උපරිම ප්‍රතිලාභ ලබාදීම සියලු දෙනාගේ වගකීමක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














