ඉන්දියාවේ තරුණ පරපුර විසින් ආරම්භ කරන ලද “කැරපොතු පක්ෂය” (Cockroach Janta Party – CJP) ව්‍යාපාරයේ ආධාරකරුවන් සිය ගණනක් සඳුදා (ජූලි 20) නවදිල්ලි නුවරට රැස්වී පාර්ලිමේන්තුව දෙසට පාගමනින් යාමට උත්සාහ කර ඇත. පොලිසිය විසින් මෙම විරෝධතාවට අවසර ලබා දී නොතිබුණද, අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම ඉල්ලා මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.
අගමැති නරේන්ද්‍ර මෝදිගේ තෙවන ධූර කාලය තුළ ඔහුට එල්ල වන දැවැන්තම මහජන අභියෝගය ලෙස සැලකෙන මෙම මාස කිහිපයක් පැරණි ව්‍යාපාරය, සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන සංඛ්‍යාත ආධාරකරුවන් පිරිසක් දිනා ගැනීමට සමත්ව ඇත. පසුගිය සෙනසුරාදා උපවාසයේ නිරතව සිටි ක්‍රියාකාරිකයෙකු වන සෝනම් වංචුක් පොලිසිය විසින් බලහත්කාරයෙන් රෝහලට ඇතුළත් කිරීමත් සමඟ මෙම විරෝධතා තවත් තීව්‍ර විය.
ඉකුත් මැයි මාසයේදී ජාතික වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාග ප්‍රශ්න පත්‍රය කාන්දු වීම හේතුවෙන් සිසුන් මිලියන 2කට අධික පිරිසකට යළි විභාගයට පෙනී සිටීමට සිදුවීමත් සමඟ මෙම ව්‍යාපාරය ආරම්භ විය. මේ වන විට අධ්‍යාපන පද්ධතියේ සහ විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම්වල දූෂණවලට එරෙහිව සහ ඉහළ තරුණ රැකියා විරහිතභාවයට එරෙහිව තරුණ පිරිස් දැඩි විරෝධතාවක නිරතව සිටිති.
















