කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ ගුරුවරයෙකුට අයත් මෝටර් රථයක් පාසල් භූමිය තුළදී ගිනි ගැනීමට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වැරදි ප්‍රචාර ප්‍රතික්ෂේප කරමින් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. 2026 ජූලි 03 වන දින පස්වරුවේ සිදුවූ මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් සිදුකළ CCTV පරීක්ෂාවකදී, එම විද්‍යාලයේම 2 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 08 හැවිරිදි සිසුවෙකු විසින් ගිනිකූරක් දැල්වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වී ඇත.
අදාළ සිසුවාගේ දෙමාපියන් විද්‍යාල බලධාරීන් හමුවේ සිය දරුවා අතින් මෙම වරද සිදුවූ බව පිළිගෙන ඇති අතර, රථයට සිදුවූ හානිය වෙනුවෙන් වන්දියක් ගෙවීමට දරුවාගේ පියා එකඟ වී ඇත. රක්ෂණ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා පමණක් පොලිස් පැමිණිල්ලක් සිදුකර ඇති අතර, දරුවාගේ නම සඳහන් කිරීමට හෝ ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ගුරුවරයා හෝ පාසල් පාලනාධිකාරිය කටයුතු කර නැත. මෙම සිද්ධිය මුල් කරගනිමින් පාසලේ කීර්තිනාමයට හානි කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරන බව පෙන්වා දෙන ආදි ශිෂ්‍ය සංගමය, පාසල් කාලයෙන් පසු දරුවන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ හැසිරීම් පිළිබඳව දෙමාපියන් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බව අවධාරණය කරයි.
















