කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අද (20) සවස දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් දුම්රිය ස්ථානයේ වේදිකා දෙකක ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබේ. කොළඹ කොටුව සිට සවස 4:45ට රඹුක්කන බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක්, වේදිකාව වෙත ළඟා වීමට උත්සාහ කිරීමේදී සවස 4:35ට පමණ මෙලෙස පීලි පැන ඇත.මෙම අනතුරින් දුම්රියේ එක් මැදිරියක රෝද දෙකක් පීලිවලින් ඉවතට පැන ඇති අතර, මීට පෙර පසුගිය 07 වැනි දිනද මෙම දුම්රියම මෙලෙස පීලි පැනීමට ලක්ව තිබූ බව වාර්තා වේ. පීලි පැනීම හේතුවෙන් වේදිකා දෙකක් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර, දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බැවින් සවස් කාලයේ ධාවනය වන අනෙකුත් කාර්යාලයීය දුම්රිය කිහිපයක් ද සුළු වශයෙන් ප්රමාද විය හැක.
















