එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය සඳහා ලබන සැප්තැම්බර් මාසයේදී නිව්යෝර්ක් නුවරට පැමිණීමට නියමිත ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමට ඇති නීතිමය ප්‍රතිපාදන කවරේදැයි සමාලෝචනය කරමින් සිටින බව නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි ප්‍රකාශ කර තිබේ.
ගාසා තීරයේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් ඊශ්‍රායල අගමැතිවරයාට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇති අතර, නෙතන්යාහු යනු චෝදනා එල්ල වූ යුද අපරාධකරුවෙකු බවත් ඔහු සිටිය යුත්තේ ජාත්‍යන්තර අධිකරණයේ බවත් නගරාධිපතිවරයා පෙන්වා දෙයි. කෙසේ වෙතත්, විදේශීය රාජ්‍ය නායකයෙකු අත්අඩංගුවට ගැනීමට සිය පරිපාලනය යටතේ පවතින නිව්යෝර්ක් පොලීසියට නෛතික බලයක් තිබේදැයි තහවුරු කර ගැනීමට නගරයේ නීති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා පවත්වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
















