රටේ ජනතාවගෙන් අඩක් පමණ කුසගින්නේ පසුවන බවට වාර්තා පළවන පසුබිමක, සියයට 75ක ජනතාවක් වත්මන් ජනාධිපතිවරයාට කැමැත්ත පළ කරන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි.
පසුගිය 19 වැනිදා පුත්තලමේ පැවති කොට්ඨාස රැස්වීමක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළ අතර, ජනතාවට තුන්වේල කෑමට නොමැති නම් ඔවුන් කිසිවිටෙකත් පාලකයන්ට කැමැත්තක් නොදක්වන බැවින් එවැනි සමීක්ෂණ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය. පවතින ආණ්ඩුව අසීමිත බොරු පවසමින් බලයට පැමිණ මේ වන විට ජනතා විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩ කර ඇති බවද ඔහු එහිදී අවධාරණය කළේය.
නව දේශපාලන සංස්කෘතියක් ගෙන එන බව පවසා බලයට පැමිණි වත්මන් රජය මේ වන විට ආගම දහමෙන් සහ සංස්කෘතියෙන් රාජ්‍යය ඈත් කරමින් සිටින බවට චෝදනා කළ මන්ත්‍රීවරයා, බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් සීඝ්‍රයෙන් ඉහළ යද්දී සහ රෝහල්වල ඖෂධ හිඟයක් පවතිද්දී ආණ්ඩුව ඩොලර් සංචිත ගැන පමණක් පම්පෝරි ගසමින් ජනතා ප්‍රශ්න නොසලකා හැර ඇති බවද වැඩිදුරටත් කියා සිටියේය.
















