ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2026 ජූලි මස 20 වන දින මීගමුව කුඩපාඩුව වරාය ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ තොගයක් සමඟ ට්‍රක් රථයක් (01) නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කර තිබේ.
බටහිර නාවික විධානයට අනුබද්ධ ශ්‍රී ලංකා නාවික නෞකා ‘කැලණි’ ආයතනය වෙත ලද බුද්ධි තොරතුරකට අනුව, මීගමුව කුඩපාඩුව වරාය ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ට්‍රක් රථයක් (01) පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, නීතිවිරෝධී ලෙස රට තුළට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ, බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හාරසිය පනස් හයක (1,456) අධික තොගයක් සමඟ ට්‍රක් රථය මෙලෙස නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කර ඇත.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය සහ ට්‍රක් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව රේගු නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කර තිබේ.
















