දිවයිනෙන් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම, සත්ත්ව සුබසාධනය තහවුරු කිරීම සහ වීදි සතුන්ගේ ගහනය පාලනය කිරීම වෙනුවෙන් විධිමත් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වී තිබේ.
එක්සත් රාජධානියේ ‘Battersea’ සංවිධානය සහ ජාත්‍යන්තර සහකාර සත්ත්ව කළමනාකරණ සන්ධානය (ICAM – UK) නියෝජනය කරන විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, කෙටි කාලයක් තුළ උපරිම සුනඛයන් සංඛ්‍යාවකට එන්නත් ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට යෝජනා වී ඇත. මෙම ව්‍යාපෘතිය ප්‍රථමයෙන් බස්නාහිර පළාතෙන් ආරම්භ කර දිවයින පුරා ව්‍යාප්ත කිරීමටත්, එය මෙහෙයවීම සඳහා ‘ජනාධිපති කාර්ය සාධක බලකායක්’ පිහිටුවීමටත් අවධානය යොමුව තිබේ.














