පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධ සිදුවීම වාර්තා කිරීම පදනම් කරගනිමින්, බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට දැරූ උත්සාහයට නිදහස් නීතිඥ සංගමය (FLO) සිය දැඩි විරෝධය පළ කර තිබේ. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මෙන්ම අතීතයේ පැවැති පරාජිත හා ප්රගතිශීලී නොවන ක්‍රියාමාර්ග නැවත කරළියට ගැනීමක් බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
1992 වසරේදී ‘රාවය’ පුවත්පතේ හිටපු කතෘ වික්ටර් අයිවන් මහතා පාර්ලිමේන්තු තේරීම් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මතු වූ නීතිමය හා ස්වාභාවික යුක්තිය පිළිබඳ ගැටලු වර්තමානයටත් අදාළ වන බව එම සංගමය සඳහන් කරයි. විධිමත් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම, සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම සහ නීතිඥ නියෝජනය වැනි මූලික යුක්ති සහගත පටිපාටියක් (due process) සහතික නොවන තාක් දුරට කිසිදු මාධ්‍යවේදියෙකු හෝ මාධ්‍ය ආයතනයක් මෙවැනි කමිටු හමුවට පැමිණීමට බල නොකළ යුතු බවත්, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා නොකළ යුතු බවත් නිදහස් නීතිඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
















