ශ්‍රී ලංකා – ඉන්දියා ව්‍යාපාරික සංගමයේ (LIBA) සභාපති සන්තෝෂ් මෙනන් මහතා විසින් රචිත ලිපියකට අනුව, එම සංගමය විසින් සංවිධානය කරනු ලබන ප්‍රථම ව්‍යාපාරික සංසදය වන “ඉන්දියා කෝලිං” (India Calling) එළැඹෙන අගෝස්තු මස 6 වන දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
දෙරට අතර ආර්ථික, වෙළඳ සහ ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම අරමුණු කරගනිමින් සංවිධානය කර ඇති මෙම සංසදය සඳහා රාජ්‍යතාන්ත්‍රිකයින්, දේශපාලන නායකයින්, ව්‍යාපාරිකයන් සහ දෙරටේ ප්‍රධාන මතධාරීන් රැසක් එක්වීමට නියමිතය. ඉන්දියාවේ ආර්ථික අවස්ථා, දෙරට අතර පවතින සඓතිහාසික සබඳතා, උපායමාර්ගික හවුල්කාරීත්වයන් සහ ශ්‍රී ලංකාවට ඒ හරහා ලැබිය හැකි වාසි පිළිබඳව මෙහිදී මණ්ඩල සාකච්ඡා හතරක් යටතේ පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
මෙම අවස්ථාව සඳහා නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින්ස් (David Pines), බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් තෙරේසා මහෝනි (Theresa Mahoney), ජෙට්රෝ (Jethro) නියෝජනය කරමින් ඩායිසුකේ ශිකමා (Daisuke Shikama) ඇතුළු ඉන්දියාවෙන් පැමිණෙන මහාචාර්ය සී. රාජමෝහන්, දේව්දත් පට්ටනායක් සහ මොන්ටෙක් සිං අලුවාලියා යන මහත්වරුන් ප්‍රධාන පිරිසක් සහභාගී වීමට නියමිතය. මීට අමතරව, ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් සහ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වීමට නියමිතව ඇත.
දෙරට අතර සමීප ආර්ථික සහයෝගීතාවක් ඇති කරගැනීම මගින් ශ්‍රී ලංකාවට ළඟා කරගත හැකි ආර්ථික පරිවර්තනය, දකුණු ඉන්දියාව වෙත අපනයන කොරිඩෝවක් නිර්මාණය කිරීම, බලශක්ති සැපයුම්කරුවෙකු වීම, ඩිජිටල් මහජන යටිතල පහසුකම් වැනි තාක්ෂණික සම්බන්ධතා මෙන්ම සංචාරක හා ආයෝජන ක්ෂේත්‍රවල වර්ධනයක් අත්කර ගැනීම මෙහි මූලික අපේක්ෂාව වී තිබේ.














