කොළඹ වරාය නගරය (Port City) තුළදී චීන ජාතික කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමකදී ප්‍රතිවාදී කල්ලියේ අයෙකු ඝාතනය කර මෙරටින් පළායාමට තැත් කළ චීන ජාතිකයන් දෙදෙනෙකු අද (23) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් 34 සහ 38 හැවිරිදි වියේ පසුවන මෙම චීන ජාතිකයන් දෙදෙනා අද පස්වරු 4:30 ට ඉන්දියාවේ මුම්බායි නුවර ඔස්සේ සිංගප්පූරුව වෙත පළායාම සඳහා ඉන්දීය ගුවන් සේවයේ (Air India) AI-2275 දරන ගුවන් යානයට ගොඩවීමට පැමිණ සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ලත් බුද්ධි තොරතුරකට අනුව ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ නිරීක්ෂණ කටයුතුවල නිරත වූ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ වරාය පොලීසිය වෙත භාරදීමට පියවර ගෙන තිබේ.














