ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය නැවත වතාවක් දැවැන්ත දේශපාලනික සහ නීතිමය කුණාටුවකට මැදි කරමින් අතිශය තිගැස්මක් ඇති කරන පුවතක් වාර්තා වෙනවා. ඩොලර් මිලියන 3කට ආසන්න (ශ්‍රී ලංකා රුපියල් බිලියන 9කට ආසන්න) අධි තාක්ෂණික ද්‍රව්‍ය තොගයක් හොර රහසේ ප්‍රවාහනය කරමින් සිටි නීති විරෝධී ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට පත්වීමත් සමඟයි මේ කලබලය හටගෙන තිබෙන්නේ.
31 හැවිරිදි දීපක් කුමාර් නම් මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු ළඟ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් නිකුත් කරන ලද නිල වාණිජ රියදුරු බලපත්‍රයක් ද තිබී හමුවී තිබෙනවා. ඔහු පදවාගෙන ආ ලොරියේ තිබී ටංස්ටන් ඔක්සයිඩ් (tungsten oxide) නමැති අතිශය වටිනා රසායනික කුඩු තොගයක් අඩංගු පැලට් 10ක් සොයාගැනීමට බලධාරීන් සමත් වුණා.
ආරක්ෂිත යුධ පතොරම්, ලේසර්, සෙරමික් සහ අධි තාක්ෂණික නිෂ්පාදන සඳහා යොදාගන්නා මෙම වටිනා ද්‍රව්‍ය තොගය Mitsubishi Materials Corporation සමාගමට අයත් එකක්. අදාළ භාණ්ඩ තොගය රැගෙන යාමට පැමිණි රථය සහ රියදුරු ගැන කිසිදු තොරතුරක් නැතිවීමත් සමඟයි සමාගම විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙන්නේ.
විශේෂිත බලපත්‍ර පුවරු හඳුනාගැනීමේ කැමරා (Flock cameras) යොදා ගනිමින් සිදුකළ මෙහෙයුමකදී මෙම රථය සොයාගැනීමට පොලිසියට හැකිවුණා. එහිදී පරීක්ෂකයන් හමුවේ දීපක් කුමාර් විසින් කූට ලෙස සකස් කළ ලේඛන සහ වලංගු නොවන වීසා බලපත්‍ර ඉදිරිපත් කර තිබුණත්, ඔහු ළඟ තිබූ කැලිෆෝනියා රියදුරු බලපත්‍රය සැබෑ එකක් බව හෙළිදරව් වී තිබෙනවා.
මෙම සිදුවීමත් සමඟ ඇමරිකානු සමාජ මාධ්‍ය සහ දේශපාලන කරළිය දැඩි ලෙස උණුසුම් වී තිබෙනවා. නීති විරෝධී ලෙස රට තුළ රැඳී සිටින සංක්‍රමණිකයන්ට මෙලෙස නිල වාණිජ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කැලිෆෝනියා ප්‍රාන්තය කටයුතු කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා දැඩි ලෙස විවේචනය කරන්නට පටන් ගෙන තිබෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශ්වය විසින් ද කැලිෆෝනියා ආණ්ඩුකාර ගෙවින් නිව්සම් වෙත දැඩි චෝදනා එල්ල කරමින් කියා සිටින්නේ, මෙවැනි නීතිමය හිඩැස් නිසා රටේ ආරක්ෂාව දැඩි තර්ජනයකට ලක්ව ඇති බවයි.
දැනට ඇමරිකානු ආගමන හා විගමන විධායක නියෝජිතායතනය (ICE) භාරයේ පසුවන මෙම සැකකරු සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිය කෙලෙස ක්‍රියාත්මක වේවිද? ඔබේ අදහසත් අපට කියන්න.














