ශ්‍රී ලංකාවේ දේශීය ගුවන් සේවා ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ සහ විධිමත් කිරීමේ ඉදිරි පියවර පිළිබඳ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. එහිදී ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරමින් දේශීය ගුවන් ගමන් කාර්යක්ෂම කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.
මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ ප්‍රධානම යෝජනාවක් වූයේ කොළඹ පෝට් සිටි (Port City) පරිශ්‍රය තුළ විශේෂ හෙලිකොප්ටර් අංගනයක් (Helipad) ස්ථාපිත කිරීමයි. අනාගත ව්‍යාපාරික ගමන් බිමන්, සංචාරක ක්ෂේත්‍රය, විධායක ප්‍රවාහන කටයුතු සහ හදිසි සහන මෙහෙයුම් සඳහා මෙම හෙලිකොප්ටර් අංගනය බෙහෙවින් උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සියලු පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර මෙම යෝජනාව පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
වසර විස්සකට වැඩි කාලයක් විසඳී නොතිබූ මෙහෙයුම් සහ නියාමන ගැටලු අතුරින් 90%කට ආසන්න ප්‍රමාණයක් විසඳීමට ආරක්ෂක අමාත්‍යාංශයේ මෙම මැදිහත්වීම නිසා හැකියාව ලැබුණු බව ගුවන් යානා මෙහෙයුම්කරුවන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ නියෝජිතයෝ මෙහිදී පැවසූහ.














