වින්දිත දරුවන්ගේ ආරක්ෂාව සහ මානසික සුවපහසුව තහවුරු කිරීම සඳහා ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් නොකර, කිසිදු බලපෑමකින් තොර පරිසරයකදී වීඩියෝ සාක්ෂි පටිගත කර යොමුකිරීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ, 2026 වසරේ ගතවූ මුල් මාස 6 තුළ පමණක් ළමා අපයෝජන ඇතුළු ළමයින් සම්බන්ධ පැමිණිලි 5,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි. වින්දිත දරුවන් ආරක්ෂා කිරීම සඳහා පළාත් මට්ටමින් වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක 9ක් ස්ථාපිත කිරීමට කටයුතු යොදමින් සිටින අතර, ජාතික ළමාරක්ෂක අධිකාරිය, රාගම සහ අනුරාධපුරය යන ස්ථානවල මෙම ඒකක දැනටමත් සූදානම් කර ඇති බව ද ඇය සඳහන් කළාය.














