මීගමුව කලපුවේදී නාවික හමුදා භාරයට ගත් කිලෝග්‍රෑම් 735 කට අධික බීඩි කොළ තොගයත් සමඟ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක වන මහා පරිමාණ නීතිවිරෝධී ජාවාරමක තවත් රහසක් අනාවරණය වී තිබේ. රජය විසින් පනවා ඇති අධික ආනයනික බදු වලින් පැන යාමේ අරමුණින්, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් සහ ඡතිස්ගාර් වැනි ප්‍රාන්තවල වනාන්තරවලින් නෙළා ගන්නා මෙම බීඩි කොළ, ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ට්‍රෝලර් යාත්‍රා මඟින් මෙරට ඩිංගි යාත්‍රා වෙත මාරු කරමින් රහසිගතව ගොඩබිමට ගෙන එනු ලබයි.අඩු ආදායම්ලාභීන් අතර පවතින ඉල්ලුම ප්‍රයෝජනයට ගනිමින් කිසිදු අවදානමකින් තොරව 100% කට අධික ලාභයක් ලබා දෙන මෙම කළු සල්ලි උල්පත පිටුපස සිටින්නේ දැවැන්ත ජාවාරම්කරුවන් පිරිසක් වුවද, නිතර නාවික හමුදා දැලට හසුවන්නේ දවසේ කුලියට හෝ කොමිස් මුදලකට ක්‍රියාත්මක වන ‘හාල්මැස්සන්’ වැනි සුළු ජාවාරම්කරුවන් පමණි. බීඩි කොළ ජාවාරම යනු මත්ද්‍රව්‍ය සහ රත්‍රං ජාවාරම් හා බැඳුණු තවත් එක් ප්‍රබල ජාලයක් වන අතර, මෙයට එරෙහිව දැඩි දේශසීමා බුද්ධි තොරතුරු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිරය පිටුපස සිටින මහා පරිමාණ ‘මෝරුන්’ නීතිය හමුවට ගෙන ඒම අත්‍යවශ්‍ය වී තිබේ.














