හලාවත, කරුකපනේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ සෙවුම් මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එන ලද කෙන්ඩු කොළ (Kendu leaves) කිලෝග්රෑම් 3,135කට අධික ප්රමාණයක් සහ ඩිංගි යාත්රා 3ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
වයඹ නාවික විධානයට අයත් ‘ශ්රී ලංකා නාවික නැව තම්බපණ්ණි’ ආයතනයේ නාවිකයින් විසින් ලැබුණු තොරතුරකට අනුව මෙම මෙහෙයුම සිදුකර ඇත. එහිදී පොලිතීන් උර 80ක අසුරා තිබූ මෙම කෙන්ඩු කොළ තොගය සොයාගෙන ඇති අතර, නාවික හමුදා සෙවුම් කටයුතු තදින්ම ක්රියාත්මක වූ බැවින් ජාවාරම්කරුවන් විසින් යාත්රා අතහැර පලා යන්නට ඇති බවට සැක කෙරේ. අත්අඩංගුවට ගත් කෙන්ඩු කොළ තොගය සහ ඩිංගි යාත්රා ඉදිරි නීතිමය කටයුතු සඳහා හලාවත සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදී ඇත.
















