නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙරළ තීරයට ඇතුළු වූ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30 සහ 31 යන වයස්වල පසුවන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු වන අතර, ඔවුන් මුහුදු මාර්‌ග ඔස්සේ රහසිගතව ඉන්දීය භූමියට ඇතුළු වී ඇති බවට තහවුරු වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ වැඩිදුර විමර්‌ෂණ ආරම්භ කර ඇති අතර, පසුගිය බ්‍රහස්පතින්දා දින වත්තල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට මොවුන්ගේ සම්බන්ධයක් පවතීද යන්න පිළිබඳව ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්‌තා කරයි. මීට අමතරව අදාළ සැකකරුවන් දෙදෙනාට එරෙහිව ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩු තුනක් පවතින බව ද එම වාර්‌තාවල වැඩිදුරටත් සඳහන් වේ.
සැකකරුවන් දෙදෙනා නීතිවිරෝධී ලෙස විදේශගත වීමට හේතුව සහ ඔවුන්ගේ පසුබිම පිළිබඳව ඉන්දීය වෙරළ පොලිසිය සහ විමර්‌ෂණ නිලධාරීන් දීර්‌ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටී. ඉදිරි විමර්‌ෂණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්‌ග පිළිබඳව දෙරටේ ආරක්ෂක අංශ අතර තොරතුරු හුවමාරු කර ගැනීමට නියමිතය.














