මෙම වසරේ (2026) ජුනි 30 වන දින දක්වා ගත වූ මාස කිහිපය තුළ පමණක් ළමා අපචාර සම්බන්ධයෙන් පැමිණිලි 5,500කට අධික සංඛ්‍යාවක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට (NCPA) ලැබී ඇති බව එහි නීති බලාත්මක කිරීමේ අධ්යක්ෂ, නීතිඥ සජීවී අබේකෝන් මෙනවිය පවසයි.
අන්තර්ජාලය සහ උත්පාදක කෘත්‍රිම බුද්ධිය (Generative AI) භාවිත කරමින් වය අවුරුදු 18ට අඩු ළමුන් (විශේෂයෙන් බාලවයස්කාර පිරිමි ළමුන්) අතින් අපරාධ සිදුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව අබේකෝන් මෙනවිය සඳහන් කර ඇත.
ප්‍රධාන වශයෙන්ම AI තාක්ෂණය භාවිතයෙන් නිරුවත් පින්තූර නිර්මාණය කිරීම, සහකාරියන්ගෙන් බලපෑම් කර පින්තූර ලබාගෙන ඒවා සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීම වැනි ක්‍රියා නීතිය යටතේ ලිංගික හිංසනයන් ලෙස සැලකෙන බව ඇය පෙන්වා දී තිබේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සාමාන්‍යයෙන් වාර්ෂිකව පැමිණිලි 10,000ක් පමණ ලැබෙන අතර, පසුගිය වසරේදී (2025) පමණක් පැමිණිලි 9,000කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇත.
මෙම වසරේ මුල් මාස 6 තුළ ලැබුණු පැමිණිලි අතරට නිසි ආරක්ෂාවක් නොමැති දරුවන් සම්බන්ධ පැමිණිලි 1,358ක්, ළමා හිංසන පැමිණිලි 1,100ක්, බරපතල ලිංගික අපචාර පැමිණිලි 60ක් සහ සයිබර් හිංසන පැමිණිලි 112ක් ඇතුළත් වේ.
ළමා අපචාර හෝ ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ගැටළුවක් හෝ පැමිණිල්ලක් ඇත්නම්, දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට ඕනෑම දුරකථන ජාලයක් හරහා 24 පැය පුරා ක්‍රියාත්මක වන 1929 යන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය (ChildLine) වෙත නොමිලේ සම්බන්ධ විය හැකි බව දන්වා සිටියි.














