පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් ආරම්භ කරන ලද කසළ දහන ව්‍යාපෘතිය අසාර්ථක වීම හේතුවෙන් බරපතල පාරිසරික අර්බුද රැසක් පැනනැගී තිබෙන බව අප ඊයේ (24) වාර්තා කිරීමෙන් පැය කිහිපයක් ඉක්මයාමටත් මත්තෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ මැදිහත්වීමෙන් ඒ සම්බන්ධයෙන් යම් සාධනීය පියවර කිහිපයක් ගෙන ඇති බව වාර්තා වේ.
මේ යටතේ කසළ දාහකය අසල කසළ ඒකරාශී වීම අවම කිරීම සඳහා කසළ කොටසක් මහනුවර මහ නගර සභාව විසින් රැගෙන යාමේ එකඟතාවකට එළැඹ තිබේ. මෙම පියවර යටතේ මහනුවර මහ නගර සභාවේ කසළ කළමනාකරණ ප්‍රතිපත්තියට අනුකූලව වෙන් කර භාරදෙනු ලබන කසළ නගර සභාව මගින් ගොහාගොඩ කසළ අංගනයට රැගෙන යාමට නියමිතය. මෙම ප්‍රමිතීන්ට අනුගතව නගර සභා කසළ ප්‍රවාහන ලොරි රථවලට කසළ භාරදීමේ ක්‍රමවේදය පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රජාව දැනුවත් කරමින් උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් විසින් 24 වැනි දිනැතිව ලිපි දෙකක් නිකුත් කර ඇත.














