අදට (26) යෙදී තිබෙන ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනයට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ කඩොලාන පරිසර පද්ධති 08ක් නව රක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කරයි. “තිරසර නිල් ආර්ථිකයක් සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සඳහා නිරෝගී කඩොලාන පරිසරයක්” යන්න මෙවර ජාත්‍යන්තර කඩොලාන දිනයේ තේමාව වී ඇති අතර, ඒ යටතේ තිල්ලිඅඩිය, සම්මට්ටවාඩිය, මුතලප්පාලි, කුඩාව, කුඹුටු කුලියාව, කරඹේ, කන්දකුලිය සහ මණ්ඩල කුඩාව යන ප්‍රදේශ මෙලෙස නව රක්ෂිත කලාප ලෙස නම් කෙරේ.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කර ඇත්තේ වත්මන් ආණ්ඩුව යටතේ මෙරට පරිසර සංරක්ෂණය තවදුරටත් ශක්තිමත් කරමින් මේ වන විට හෙක්ටයාර් 66,000කට අධික භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි වන රක්ෂිත කලාප 94ක් ප්‍රකාශයට පත් කර ඇති බවයි. ස්වභාවික වෙරළ තීරයන් ආරක්ෂා කිරීම සහ පරිසර පද්ධතිවල සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා ගෙන යන මෙම අඛණ්ඩ වැඩපිළිවෙළ යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ තෝරාගත් මෙම කඩොලාන කලාප සංරක්ෂණයට ලක්වීම විශේෂ වැදගත්කමක් උසුලයි.
කඩොලාන පරිසර පද්ධති යනු ජෛව විවිධත්වය සුරැකීම, වෙරළ ඛාදනය අවම කිරීම, කාබන් ගබඩා කිරීම මෙන්ම වෙරළබඩ ධීවර ප්‍රජාවගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය ස්වභාවික පද්ධති ලෙස සැලකේ. දේශගුණික විපර්යාසවලට සාර්ථකව මුහුණ දිය හැකි තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟාවීම සඳහා මෙවැනි පරිසර පද්ධති අඛණ්ඩව ආරක්ෂා කිරීම සහ නීතිමය රාමුවක් තුළ රක්ෂිත ලෙස පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය පියවරක් බව පරිසර අංශ පෙන්වා දෙයි.














