රාජකාරියට නුසුදුසු වන ආකාරයෙන් හැසිරෙමින් මහජනතාව සමඟ තර්ජනාත්මක වාග් විලාසයකින් වාද කර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වතුපිටිවල ආයෝජන කලාප පොලිස් මුරපොලේ රාජකාරි කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ වහාම ක්රියාත්මක වන පරිදි තහනම් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. පසුගිය 23 වන දින වතුපිටිවල රෝහල ආසන්නයේ පිහිටි පෞද්ගලික ආයතනයක් ඉදිරිපිටදී අදාළ නිලධාරියා නිල ඇඳුමින් පෙනී සිටිමින් මෙම නුසුදුසු හැසිරීම සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලිස් නිලධාරියෙකුගේ මෙම ක්රියාකලාපය හේතුවෙන් ශ්ර්රී ලංකා පොලීසිය මෙන්ම සමස්ත රාජ්ය සේවයද දැඩි අපකීර්තියට පත්වන බව පෙනී යෑම සහ එය අනෙකුත් නිලධාරීන්ටද වැරදි පූර්වාදර්ශයක් වීම මත මෙම විනය ක්රියාමාර්ගය ගෙන තිබේ. තවදුරටත් ඔහු සේවයේ රඳවා ගැනීම පොලිස් සේවයේ කීර්තිනාමයට සහ අභිමානයට හානියක් වන බැවින්, ආයතන සංග්රහයේ අදාළ වගන්ති ප්රකාරව මෙම වැඩ තහනම් කිරීමේ නියෝගය නිකුත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
මහජන ආරක්ෂාව සහ නීතිය ක්රියාත්මක කිරීමේදී රාජ්ය නිලධාරීන්ගෙන් අපේක්ෂිත විනය සහ වගකීම්සහගත හැසිරීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව දැඩි අවධානයක් යොමු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශ විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබන අතර, රාජකාරී වගකීම් පැහැර හරින සහ ආයතනික ප්රතිරූපයට හානි සිදු කරන නිලධාරීන්ට එරෙහිව ඉදිරියේදී දැඩි විනය ක්රියාමාර්ග ගන්නා බව බලධාරීහු අවධාරණය කරති.














