පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 25 වැනි දින නිල වශයෙන් විවෘත කර තිබේ. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර 65 වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් වැඩසටහන්වල කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක කර ඇති අතර, මෙම අවස්ථාව සඳහා පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා, තානාපති කාර්යාලයේ කොන්සියුලර් නිලධාරිනී චතුරි කල්පනා, මින්ඩනාඕ හි ශ්‍රී ලංකා කොන්සියුලර් විලියම් චෙන් ඇතුළු රාජ්‍ය හා ප්‍රදේශයේ නිලධාරීන් රැසක් සහභාගී වූහ. මින්ඩනාඕ හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම පිලිපීන ජාතිකයින්ට කොන්සියුලර් සේවාවන් වඩාත් පහසුවෙන් ලබා ගැනීමේ අරමුණින් ඩාවෝ නගරය මෙම කාර්යාලය සඳහා තෝරාගෙන ඇති අතර, මෙතෙක් කොන්සියුලර් අවශ්‍යතා සඳහා මැනිලා නුවර වෙත යාමට සිදුව තිබූ අසීරුතාවයට මේ හරහා ස්ථිර විසඳුමක් ලැබී තිබේ.මෙම කොන්සියුලර් කාර්යාලය පිහිටුවීම මඟින් කාලය සහ මූල්‍ය පිරිවැය දැවැන්ත ලෙස ඉතිරි කර ගනිමින් අදාළ සේවාවන් ලබා ගැනීමට පහසු ප්‍රවේශයක් හිමිවන අතර, එය ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින මිත්‍රත්වය සහ පුළුල් පරාසයක විහිදුණු ක්ෂේත්‍රයන්හී සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි. ජාත්‍යන්තර මට්ටමින් මෙරට පුරවැසියන්ගේ සුභසාධනය තහවුරු කිරීම සහ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම උදෙසා රජය ගෙන යන විදේශ ප්‍රතිපත්තියේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙම ක්‍රියාමාර්ගය දැඩි ඇගයීමකට ලක්ව තිබේ.














