තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කරන විට විවිධ පාර්ශ්ව දොස් නගන බවත්, තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කරගෙන ප්‍රතිරූප ගොඩනගා ගැනීමට සහ සමාජ මාධ්‍ය හරහා බොරු ස්ථාපිත කිරීමට හැකියාව තිබුණත් එවැනි පුහු දේවල් නොකර සැබවින්ම ජනතාවට සේවයක් ඉටු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ හොරොව්පතාන වගොල්ලාගොඩ බෝධිරුක්ඛාරාම මහා විහාරයේ සුවිසල් ධර්ම ශාලාව ගොඩනැගීම වෙනුවෙන් මුල් ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහිදී ඔහු විසින් රු. 215,000ක් වටිනා සිමෙන්ති කොට්ට 100ක් පරිත්‍යාග කිරීමද සිදු කරන ලදී.
දිට්වා කුණාටු සමයේ විපතට පත් ජනතාව වෙනුවෙන් විවිධ දේ ලබා දෙන බව පැවසුවද අද කිසිවක් නොකර දුකට පත් ජනතාව සමඟ සමාජ මාධ්‍ය තුළ ඡායාරූප සහ වීඩියෝ පළ කිරීමට රජයේ පාර්ශ්වය කටයුතු කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය. අදටත් දිට්වා නිසා අසරණ වූ ජනතාවට වගා හානි, දේපළ හානි, ජීවිත හානි සහ විකල්ප ඉඩම් හෝ නිවාස සඳහා නිසි උත්තරයක් නොමැති බවද ඔහු සඳහන් කළේය.
ගොවිතැනේ නියැලෙන ජනතාවගේ වී කිලෝවට රු. 150ක් ලබා දී ගොවියා රජකරවන බව පැවසුවද, අද ගොවියාට අපහාස කර අවලාද නගන බවත් පාර්ලිමේන්තුවේ ගොවියා ගැන කතා කිරීමට පවා තහනම් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. අගනුවර ටයි කෝට් පැළඳගෙන වී මිල තීරණය කරන අයට ගොවි ගැටලු නොතේරෙන බවත්, පොහොර, තෙල් සහ කෘෂි රසායන මිල ඉහළ ගොස් ඇති පසුබිමක ගොවි ජනතාවගේ අයිතීන් වෙනුවෙන් තමා දිගටම පෙනී සිටින බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














