වියට්නාම නෞකාවක් දකුණු චීන මුහුදේ නන්ෂා දූපත්හි Yongshu ගල්පරවලට ආසන්න මුහුදේ දී ගිලී තිබේ. ඊයේ (26) රාත්‍රිය වනවිට එහි ක්‍රියාත්මක වූ ගලවාගැනීමේ මෙහෙයුමකදී පුද්ගලයින් 47 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව චීනයේ සන්ෂා නගරයේ බලධාරීහු පවසති.
චීන ගලවා ගැනීමේ නෞකාවක් වන “Nanhai Jiu 115” මෙම මෙහෙයුමට සම්බන්ධ වූ අතර, එහි ජීවිතාරක්ෂක බෝට්ටු යොදා ගනිමින් ගලවා ගත් පුද්ගලයන් 41 දෙනෙකු වියට්නාම නාවික නෞකාවක් වන “Truong SA-01” වෙත මාරු කර තිබේ. ඉතිරි පුද්ගලයින් සිව්දෙනා අද (27) දවසේදී භාරදීමට නියමිතයි.
පසුගිය 25වනදා පස්වරු 6.23 ට පමණ චීන ප්‍රවාහන අමාත්‍යාංශ ගලවාගැනීමේ කාර්යාංශය මඟින් මෙහෙයවනු ලබන “Nanhai Jiu 115” නෞකා කාර්ය මණ්ඩලය මුහුදේදී හඳුනාගත් ආපදා සංඥාවලින් පසු මෙම ගලවාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත. සන්ෂාහි සමුද්‍රීය සෙවීම් සහ ගලවාගැනීමේ බලධාරීන්ට අනුව, මෙලෙස බේරාගත් සියලු දෙනා අනතුරට පත් වියට්නාම “Khoi Nguyen 18” නෞකාවේ සිටි වියට්නාම ජාතිකයෝ වෙති.
දිගින් මීටර් 69.9ක් සහ පළලින් මීටර් 10.8ක් වන මෙම නෞකාව අනතුරට ලක්වන අවස්ථාවේ එහි පුද්ගලයන් 62 දෙනෙකු සිට ඇති අතර, මේ වන විට චීන යාත්‍රා 06ක්, හෙලිකොප්ටර් යාත්‍රාවක් සහ වියට්නාම යාත්‍රා 07ක් අදාළ ප්‍රදේශයේ සෙවීම් සහ ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදු කරමින් පවතී.














