බීමතින් රිය පැදවීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ. පසුගිය අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියාවේ මරූබ්‍රා ප්‍රදේශයේ සිදුකළ හදිසි රථවාහන සෝදිසි කිරීමකදී බීමතින් රිය ධාවනය කිරීමේ චෝදනාව මත පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඊට අදාළ නඩුව එරට වේවර්ලි ප්‍රාදේශීය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වෝනර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් තම සේවාදායකයා අදාළ චෝදනාවට වරද පිළිගන්නා බව දැනුම් දී ඇත. නඩු විභාගය සඳහා ඩේවිඩ් වෝනර් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහුට අදාළ දඬුවම් නියම කිරීම එළඹෙන අගෝස්තු 18 වැනිදාට කල් තබා ඇති බව වාර්තා වේ.මෙම සිදුවීමත් සමඟ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත බිග් බෑෂ් ලීග් (BBL) තරගාවලියේදී සිඩ්නි තන්ඩර්ස් (Sydney Thunder) කණ්ඩායමේ නායකත්වය වෝනර්ට අහිමි වීමේ අවදානමක් මතුව ඇති බවද සඳහන් වේ. ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ මෙන්ම සමාජය තුළ ඉහළ පිළිගැනීමකට ලක් වූ ක්‍රීඩකයින් මෙպරිදි නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වීම සහ නීතියේ රැහැනට හසුවීම ක්‍රීඩා ලෝකයේ දැඩි කතාබහට ලක්ව තිබේ.














