ඉන්දියානු රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන ඉදිකිරීම් ව්‍යාපෘතිවල මතු වී ඇති ගැටලු සම්බන්ධයෙන්, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පෙරවරුවේ පවත්වා තිබේ. එහිදී ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල පවතින ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් අවධානයක් යොමු කර ඇති අතර, අදාළ ව්‍යාපෘතිවල ගිවිසුම් අලුත් කරමින් ඒවා වඩාත් විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව සාකච්ඡා කර ඇත. ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන, වරාය සහ සිවිල් ගුවන් සේවා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන, ධීවර, ජලජ සහ සාගර සම්පත්, විද්‍යා සහ තාක්ෂණ, මෙන්ම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා යන අමාත්‍යාංශ යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.
මීට අමතරව, දිට්වා (Ditwa) ව්‍යසනයෙන් වූ හානිපූරණය සඳහා ඉන්දියානු රජයෙන් ලබා දුන් ඩොලර් මිලියන 450 ක ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කර ඇති අතර, අදාළ ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ගැටලු සොයා බැලීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීම පිළිබඳවද අවධානය යොමු වී තිබේ. මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය කෝලිත කමල් ජිනදාස යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද, ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් Maitrey Kulkarni, දේශපාලන අංශයේ පළමු ලේකම් Navya Singla, වාණිජ අංශයේ පළමු ලේකම් Saurabh Sabhlok යන මහත්ම මහත්මීන් ඇතුළු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෝ පිරිසක්ද සහභාගී වූහ.














