ඉන්දියානු රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඉදිකිරීම් ව්‍යාපෘතිවල මතු වී ඇති ගැටලු නිරාකරණය කරගැනීම සහ එම ව්‍යාපෘති ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර අද (27) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී අදාළ ව්‍යාපෘතිවල ගිවිසුම් අලුත් කරමින් කාර්‌යක්ෂමව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව දීර්‌ඝ ලෙස අවධානය යොමු වූ අතර, මෙම ව්‍යාපෘති අධීක්ෂණය සඳහා ජනාධිපති ලේකම් කාර්‌යාලය තුළ වෙනම විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමටද තීරණය විය.
මෙම සාකච්ඡාවේදී ප්‍රවාහන, මහා මාර්‌ග, නාගරික සංවර්ධන, වරාය, සිවිල් ගුවන් සේවා, වැවිලි, නිවාස, ජල සම්පාදන, ධීවර හා විද්‍යා තාක්ෂණ ඇතුළු අමාත්‍යාංශ ගණනාවක් යටතේ ක්‍රියාත්මක වන යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳව පූර්‌ණ සමාලෝචනයක් සිදු කෙරිණි. මීට අමතරව දිවිත්ව හානිපූරණය වෙනුවෙන් ඉන්දියානු රජයෙන් ලබා දුන් ඩොලර් මිලියන 450ක ණය සහ ආධාර පහසුකම් යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වර්‌තමාන ප්‍රගතිය සහ ඒවායේ පවතින ගැටලු සම්බන්ධයෙන්ද දෙපාර්‌ශ්වයේ නිලධාරීන් අතර මෙහිදී අදහස් හුවමාරු විය.
ජනාධිපති කාර්‌ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්‌ති, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්‌ය හර්‌ෂණ සූරියප්පෙරුම සහ ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්‌ය කෝලිත කමල් ජිනදාස යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මේ සඳහා එක්ව සිටියහ. තවද ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් Maitrey Kulkarni මහතා ඇතුළු මහකොමසාරිස් කාර්‌යාලයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිසක්ද සහභාගී වූ මෙම සාකච්ඡාව හරහා දෙරට අතර පවතින ද්විපාර්‌ශ්වික ආර්ථික හා සංවර්ධන සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














