විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය ගෙන ඒමට සූදානම් වන පනත් කෙටුම්පතට ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා සිය දැඩි විරෝධය පළ කර තිබේ. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නම් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව කිසිදු සඳහනක් නොමැති බව පෙන්වා දුන් සුමන්තිරන් මහතා, අධිකරණයේ ස්වාධීනත්වයට බාධා පමුණුවන සහ අධිකරණය අත්පත් කර ගැනීමේ අරමුණින් යුතුව මෙවැනි පනතක් ඉදිරිපත් කිරීම නීති වෘත්තිකයෙකු ලෙස ඔහුට නොගැලපෙන ක්‍රියාවක් බවද සඳහන් කළේය. එපමණක් නොව, මෙවැනි පනත් කෙටුම්පතක් ගෙන එන්නේ නම් අධිකරණ අමාත්‍යවරයා සිය අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්විය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














