ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුරා විසඳාගත නොහැකිව පවතින බිහිසුණු අලි – මිනිස් ගැටුමට ස්ථිරසාර හා පරිසර හිතකාමී කඩිනම් විසඳුමක් ලෙස උණ බම්බු ආශ්‍රිත ‘ජෛව වැටක්’ (Bio-fence) ඉදි කිරීම සඳහා චීන රජයේ දැවැන්ත සහාය හිමි වී තිබෙනවා. මෙරට දැවෙන ගැටුමකට චීනයේ නවීන තාක්ෂණය හරහා පිළියම් යෙදීම සම්බන්ධයෙන් මේ වන විට අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස චීනයේ බීජිං නුවර පිහිටි ජාත්‍යන්තර උණ බම්බු සහ බට මධ්‍යස්ථානයේ (ICBR) නිල අධ්‍යයන සංචාරයක නිරත වූ අවස්ථාවකදී මෙම ඓතිහාසික එකඟතාවට එළඹී තිබෙනවා. එහිදී එම මධ්‍යස්ථානයේ උසස් නිලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට උණ බම්බු ජෛව වැටක් යොදා ගැනීමේ යෝජනාව ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් නිල වශයෙන් ඉදිරිපත් කරනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ඉතා යහපත් ප්‍රතිචාර දැක්වූ චීන පාර්ශ්වය ප්‍රකාශ කර ඇත්තේ අලි – මිනිස් ගැටුමට සාර්ථක විසඳුමක් ලබා දෙන අතරම, උණ බම්බු ආශ්‍රිත නිෂ්පාදන හරහා ප්‍රාදේශීය ප්‍රජාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීමට අවශ්‍ය නවීන තාක්ෂණය සහ පර්යේෂණ සහාය පූර්ණ ලෙස ලබා දීමට සූදානම් බවයි. උණ බම්බු වගාව මෙන්ම ඒ ඇසුරෙන් කෙරෙන කාර්මික නිෂ්පාදන පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස අධ්‍යයනය කර තිබෙනවා.
මෙවැනි පරිසර හිතකාමී මෙන්ම ප්‍රජාව බලගන්වන නවමු ප්‍රවේශයන් හරහා මෙරට හරිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට මෙන්ම අලි මිනිස් ජීවිත දෙපාර්ශ්වයම ආරක්ෂා කර ගැනීමට විශාල පිටිවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.














