වර්තමාන සමාජය තුළ ජංගම දුරකථන සහ නවීන තාක්ෂණයට අධික ලෙස ඇබ්බැහි වීම පවුල් ජීවිත සහ මිනිස් සබඳතා බිඳ වැටීමට දායක වී ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
සීදූව ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකදී අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ විවෘත වෙළඳපොළ ආර්ථිකයත් සමඟ මතුවූ පාරිභෝගිකවාදය මිනිසුන් තුළ කෘත්‍රිම ආශාවන් ඇති කර ඇති බවයි.
“අද වන විට ජංගම දුරකථනය මිනිසුන්ගේ මුළු ජීවිතයම බවට පත්ව තිබෙනවා. මිනිසුන් නිදා ගැනීමට ගොස් මුළු රැය පුරාම දුරකථන දෙස බලා සිටිනවා. ඔවුන් නිදාගන්නේ නැහැ, පහන් වන තුරු විවිධ වැඩසටහන් නරඹමින් සිටිනවා. මව්පියන්, දරුවන් සහ පවුල් අතර තවදුරටත් සාමාන්‍ය පවුල් ජීවිතයක් නැහැ, සාරධර්ම ක්‍රමයෙන් ගිලිහී යමින් පවතිනවා,” යැයි කාදිනල්තුමන් පෙන්වා දුන්හ.
තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, නවීන වෙළඳපොළ ආර්ථිකය සැබෑ මිනිස් අවශ්‍යතා සපුරාලීමට වඩා කෘත්‍රිම අවශ්‍යතා නිර්මාණය කිරීම මඟින් ඉදිරියට යන බවත්, අධ්‍යාපනය සහ සමාජ දියුණුවත් සමඟ මිනිසුන් තුළ හටගන්නා උඩඟුකමෙන් පරිස්සම් විය යුතු බවත් අවධාරණය කළහ.














