ඉන්දියානු රජයේ ප්‍රදාන ආධාර යටතේ ක්‍රියාත්මක ආදර්ශ ගම්මාන නිවාස ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිමලගම ගම්මානයේ අලුතින් ඉදිකරන ලද “ජන අරුණගම” ආදර්ශ ගම්මානය පසුගියදා (29) ජනතා අයිතියට පත් කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි.
මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස 24කින් සමන්විත වන අතර, සෑම නිවසක්ම නිදන කාමර දෙකකින්, විසිත්ත කාමරයකින්, මුළුතැන්ගෙයකින් සහ සනීපාරක්ෂක පහසුකම් සහිත නානකාමරයකින් යුක්තය. පානීය ජලය, විදුලිය සහ මාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම්වලින් මෙම ගම්මානය පරිපූර්ණ වන අතර, ඉන්දීය රජය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මූල්‍ය දායකත්වය සපයා ඇත. දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආදර්ශ ගම්මාන 25ක් ඉදිකිරීමේ වැඩසටහනේ 20 වැනි ආදර්ශ ගම්මානය මෙය වන අතර, මේ වන විට එවැනි ගම්මාන 19ක් ජනතා අයිතියට පත් කර තිබේ.














