දරුවෙකුගේ ජීවිතයේ පළමු වසර දෙක තුළ සීනි පරිභෝජනය දැඩි ලෙස සීමා කිරීම, අනාගතයේදී ඩිමෙන්ශියා (මතක ශක්තිය හීනවීම) වැනි රෝග තත්ත්වයන් සහ දියවැඩියාව ඇතිවීමේ අවදානම අවම කර ගැනීමට සහ මොළයේ සෞඛ්‍යයට යහපත් බලපෑමක් ඇති කිරීමට හේතු වන බව නවතම විද්‍යාත්මක අධ්‍යයනයක් පෙන්වා දෙයි.
මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් රාජධානියේ සීනි සලාකනය හදිසියේ අවසන් වූ අවස්ථාව ස්වාභාවික අත්හදා බැලීමක් ලෙස යොදාගෙනය. එම කාලය තුළ කුඩා කාලයේදී සීනි පරිභෝජනයට සීමා පැනවූ පුද්ගලයන්ගේ වැඩිහිටි වියේ සෞඛ්‍ය තත්ත්වය සහ පසුව නිදහසේ සීනි පරිභෝජනය කළ පරම්පරාවල සෞඛ්‍ය තත්ත්වය සංසන්දනය කරමින් මෙම නිගමනයට එළඹ ඇත.
ළදරු වියේදී සීනි අධික ලෙස පරිභෝජනය කිරීම ජීවිතයේ පසුකාලීනව දියවැඩියාව, අධි රුධිර පීඩනය මෙන්ම සංජානන දුර්වලතා සහ ඩිමෙන්ශියා රෝගය වැළඳීමේ ප්‍රවණතාව ඉහළ නැංවීමට සෘජුවම බලපාන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ඒ අනුව, දරුවන්ගේ අනාගත සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් වයස අවුරුදු දෙකට අඩු කුඩා දරුවන්ට සීනි හෝ සීනි සහිත ආහාර ලබාදීමේදී දෙමාපියන් දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බවට විද්‍යාඥයින් මෙලෙස රතු එළි නංවා ඇත.














