පසුගියදා කොළඹදී පැවති සංඝ සමුළුවට සහභාගී වීම නිසා සමාජ මාධ්‍ය ඔස්සේ හාස්‍යයට හා විවිධ මඩ ප්‍රචාරවලට ලක් වූ රැවුල සහ කොණ්ඩය වවාගත් හිමිනම සම්බන්ධයෙන් හෙනානිගල වැදි ගම්මානයේ පන්සලේ විහාරාධිපති චූලපන්තක අලංකාර හිමියන් මාධ්‍ය හමුවක් පවත්වමින් විශේෂ පැහැදිලි කිරීමක් කර තිබේ.
එම හිමිනම ගිහියෙකු වෙස්වළාගෙන පැමිණි අයෙකු ලෙස ඇතැමෙකු පෙන්වා දීමට උත්සාහ කළද, උන්වහන්සේ තමන් වහන්සේ සමඟම වැඩවසන හෙනානිගල පන්සලේ විමලකිත්ති පොඩි හාමුදුරුවන් බව විහාරාධිපති හිමියෝ තහවුරු කර ඇත. තවද, උන්වහන්සේගේ භික්ෂු හැඳුනුම්පතද මෙහිදී මාධ්‍ය වෙත පෙන්වා දී තිබේ.
ප්‍රදේශයේ පවතින අධික උෂ්ණත්වය මෙන්ම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතුවල නිරත වීම නිසා උන්වහන්සේට හිස සහ රැවුල බා ගැනීමට කාලයක් නොමැති වී ඇති බවත්, එය පදනම් කරගනිමින් සංඝ ශාසනයට සහ මහා සංඝරත්නයට අපහාස කිරීම බරපතල අකුසලයක් බවත් විහාරාධිපති හිමියෝ වැඩිදුරටත් අවධාරණය කළහ.














