නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ රක්ෂිත තැන්පත්කරුවන් සඳහා වන්දි ගෙවීම අගෝස්තු මස 1 වැනිදා එනම් හෙට සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහජන බැංකුවේ තෝරාගත් ශාඛා හරහා මෙම වන්දි ගෙවීම් සිදු කෙරෙන අතර, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන තැන්පත්කරුවන්ට ඔවුන්ගේ රක්ෂිත තැන්පතුවල සමස්ත වටිනාකම අනුව උපරිම රුපියල් මිලියන 1.1ක් දක්වා වන්දි හිමිවේ. නේෂන් ලංකා ෆිනෑන්ස් ආයතනයට මූල්‍ය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා ලබාදී තිබූ බලපත්‍රය 2026 ජූලි 3 වැනිදා සිට අවලංගු කිරීමට මහ බැංකුව පියවර ගැනීමෙන් පසු මෙම වන්දි ගෙවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වේ.
රක්ෂිත තැන්පත්කරුවන් සහ නීත්‍යානුකූල හිමිකරුවන්ට 2032 ජූලි 2 වැනිදා දක්වා වන්දි ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි බවත්, ඊට අදාළ ඉල්ලුම්පත් සහ උපදෙස් මහ බැංකු වෙබ් අඩවියෙන් හෝ මහජන බැංකු ශාඛාවලින් ලබාගත හැකි බවත් මහ බැංකුව වැඩිදුරටත් දන්වා සිටියි.














