ප්‍රාදේශීය වශයෙන් සමාජ සහ ආර්ථික දියුණුව ළඟා කරගත හැකි අන්දමින් ප්‍රාදේශීය පරිපාලන ඒකක සංවර්ධන ඒකක බවට පරිවර්තනය කිරීමේ සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
දැනට ක්‍රියාත්මක පරිපාලන ක්‍රමයට දශක ගණනාවක් ගතව තිබුණ ද ජනතාවගේ බොහෝ ගැටලුවලට විසඳුම් ලැබී නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, සුළු සංශෝධන සිදු කරමින් පවතින ක්‍රමයම ඉදිරියට පවත්වාගෙන යාමට වඩා සමස්ත පරිවර්තනයක් ජනතාව අපේක්ෂා කරන බව අවධාරණය කළේය. එමෙන්ම රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සැපයිය හැකි සේවාවන් පිළිබඳ අධ්‍යයනය කර වාර්තාවක් ලබා දෙන ලෙසද ඔහු මෙහිදී උපදෙස් දුන්නේය.














