සාම්ප්‍රදායික මැණික් විද්‍යාත්මක උපකරණ මඟින් ලබා ගැනීමට අපහසු පැහැදිලි බවකින් යුතුව මැණික් ගල් තුළ ඇති අන්වීක්ෂීය ලක්ෂණ හඳුනා ගැනීමට හැකි අතිශය ඉහළ විස්තාරණ ඩිජිටල් අන්වීක්ෂයක් (Ultra-high magnification digital microscope) ශ්‍රී ලංකා විද්‍යාඥයෙකු විසින් නිපදවා තිබේ.
කොළඹ Gemological Report of Ceylon (GRC) විද්‍යාගාරයේ නිර්මාතෘ මිලිංද එදිරිසිංහ මහතා විසින් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ සිදු කරන ලද පර්යේෂණ සහ අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම නවෝත්පාදනය බිහි වී ඇත. මැණික් ගල්වල ස්වභාවික අනන්‍යතාව, උපත සහ ඒවා ප්‍රතිකාර කර ඇත්ද යන්න වඩාත් වේගවත්ව, නිරවද්‍යව සහ විනිවිදභාවයකින් යුතුව පරීක්ෂා කිරීමට මෙම නව අන්වීක්ෂය ඉමහත් පිටුවහලක් වනු ඇත.














