අද රාත්‍රියේ සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හෙට (02) දිනයේදී සබරගමුව පළාතේ සහ මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි වැසි අපේක්ෂා කෙරේ. ඌව පළාතේ සහ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල පස්වරු 2:00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල වියළි කාලගුණයක් පවතී. අද උදෑසන 8:30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 184.3ක් ලක්ෂපාන ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
අඛණ්ඩ වර්ෂාවත් සමඟ කැලණි ගං ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශ සඳහා සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, දෙහිඕවිට, රුවන්වැල්ල සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගං නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48 තුළ මෙම තත්ත්වය බලපෑ හැකිය.














