ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ නැංවීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් වහාම හමුවක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පියවර ගෙන තිබේ. සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව අද (01) දින මෙම ලිපිය යොමු කර ඇත.
අදාළ සංශෝධනය මඟින් ධුරයේ නියුතු විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම පමණක් සිදු කිරීම අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි මහජනයා තබා ඇති විශ්වාසයට අහිතකර ලෙස බලපෑ හැකි බව නීතිඥ සංගමය පෙන්වා දෙයි. මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ අනුමත විනිසුරු සංඛ්‍යාව ඉහළ නංවා ඇති බැවින්, විශ්‍රාම වයස ඉහළ දැමීමට තරම් හදිසි ආයතනික අවශ්‍යතාවක් නොමැති බව ඔවුන් අවධාරණය කර සිටී.
එමෙන්ම, මෙවැනි තීරණාත්මක ව්‍යවස්ථා සංශෝධන තාවකාලික අවශ්‍යතා මත සිදු නොකර, විනිවිදභාවයෙන් යුතුව සහ අදාළ පාර්ශ්වයන්ගේ පුළුල් සාකච්ඡාවකින් අනතුරුව සිදු කළ යුතු බව පෙන්වා දෙන නීතිඥ සංගමය, ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පවත්වන තෙක් අදාළ යෝජනාව සම්බන්ධයෙන් තවදුරටත් කිසිදු පියවරක් නොගන්නා ලෙස ඉල්ලා සිටියි.
















