පුද්ගලයෙකුගේ සේවය අවසන් කිරීම වැනි ඉහළ අධිකරණවල අභියෝගයට ලක්වීමට වැඩි ප්‍රවණතාවක් තිබෙන තීරණ ගැනීමේදී, තමන් වෙත ඉදිරිපත් කෙරෙන වාර්තාවන්හි අපක්ෂපාතීත්වය, ස්වාධීනත්වය සහ නෛතික නිවැරදිභාවය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සැලකිල්ලක් පාලක සභාව දක්වනු ඇතැයි මහජනතාව මෙන්ම රජයද අපේක්ෂා කරයි.
එසේ නොවන විට, යම් යම් පුද්ගලයන්ගේ හෝ පුද්ගල කණ්ඩායම්වල අභිලාෂයන් සංතෘප්ත කිරීම පිණිස පාලක සභාව නොමග යවමින් එහි පාලන බලය වැරදි ලෙස භාවිත කිරීම සිදුවිය හැකිය.
අප මෙතෙක් කරුණු කාරණා සහිතව කියා තිබෙන පරිදි, මෙම විෂයගත සිදුවීම වන ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාගේ සේවය අවසන් කිරීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව කටයුතු කර තිබෙන්නේ ඒ ආකාරයෙන් වැරදි සහගත ලෙසිනි.
එවැනි කටයුතුවලට සාමාන්‍ය ජනතාව කියන්නේ “බළලුන් ලවා කොස්ඇට බාවනවා වාගෙයි” කියාය. බළලා කවුද? යන්නත්, කොස්ඇට මොනවාද? යන්නත්, බළලා ලවා කොස්ඇට බාවා ගැනීමට අවශ්‍යතාව තිබුණේ කාටද? යන්නත් අවබෝධ කර ගැනීමට අප දක්වා ඇති කරුණු ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය.
ඒ අනුව මෙම විෂයගත නිෂ්කාර්ය වැයට වගකිවයුත්තන් ලෙස විගණනය විසින් හඳුනාගත් තුන්කට්ටුවේ එක් පාර්ශ්වයක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පාලක සභාවද ඊට සෘජුවම වගකිව යුතුය. මෙම වගකිවයුත්තන් වෙතින් ආපසු එම මුදල් අයකරගත යුතු වන බව (Surcharge) ඉතා පැහැදිලිව 2023 වසරේ පැවැත්වූ කෝප් කමිටු රැස්වීමේදී සාකච්ඡා වී තිබේ. එහිදී කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මෙන්ම විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතාද ප්‍රකාශ කරන ලද්දේ, අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා එම කටයුත්ත සිදු කළ යුතු වන බවය.
එසේම අමාත්‍යාංශ ලේකම්වරයා එසේ සිදු නොකරන්නේ නම්, විගණකාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අදාළ අයකර ගැනීම තමන් විසින් නිසැකවම සිදු කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත් ආණ්ඩු මාරුවීම්, ඒ සමග වන අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මාරුවීම් මෙන්ම විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා විශ්‍රාම යාම වැනි හේතූන් නිසා මෙම කටයුත්ත යටගොස් ඇත. ඒ නිසා නව විගණකාධිපති, අමාත්‍යාංශ ලේකම් මෙන්ම කෝප් කමිටුවේද වගකීම වන්නේ වගකිවයුත්තන් ඉතා පැහැදිලිව අනාවරණය වී තිබෙන මෙම නිෂ්කාර්ය වැය අදාළ පුද්ගලයන්ගෙන් නැවත අයකරගෙන භාණ්ඩාගාරයට ලබාදීමය.
මිනිසුන්ට වැරදි විය හැකිය. එහෙත් සද්භාවයෙන් යුතු මිනිසුන් එම වැරදිවලින් පාඩම් ඉගෙන නිවැරදි වීමට කටයුතු කරයි. එහෙත් වර්තමාන පේරාදෙණිය පාලකයන් නම් එසේ නිවැරදි වන කණ්ඩායමක් බව අපට පෙනෙන්නේ නැත. ඊට සාක්ෂියක් වන්නේ, පේරාදෙණියේ වර්තමාන උපකුලපතිවරයා විසින් පාලක සභාවේදී මෙන්ම තවත් ස්ථාන කිහිපයකදීද කියා ඇති බව කියන “නඩු 100ක් තියෙන තැනට 101ක් වූවාට ප්‍රශ්නයක් නැත” යන ප්‍රසිද්ධ ප්‍රකාශයයි. ඔහු එසේ උද්ධච්ච ස්වරයෙන් කියා සිටින්නේ, නඩු 100ක් වුවද 101ක් වුවද ඔහු නඩු කියන්නේ මහජනතාවගේ මුදලින් වන නිසාය. උපකුලපති මධුජිත්ගේ පෞද්ගලික මුදලින් නඩු කියන්නට වුවහොත් ඔහු කිසිදා එසේ නොකියනු ඇත.
මෙය ඉහළ බලධාරීන් සිය නිල බලයෙන් මහජන මුදල් සමග සූදු කෙළීමකි. කෝප් කමිටුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල අත්හළ නොහැකි වගකීම වන්නේ මෙවැනි මහජන මුදල් අවභාවිතයන් වැළැක්වීමය.














