අධ්‍යාපනය යනු කිසිදු දරුවෙකුට වරප්‍රසාදයක් නොව, අනිවාර්යයෙන්ම හිමිවිය යුතු මූලික අයිතිවාසිකමක් බවත්, ආර්ථික දුෂ්කරතා නිසා දරුවන්ට අධ්‍යාපනය අතහැර යාමට සිදුවන පසුබිම සම්පූර්ණයෙන්ම නැති කිරීමට රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවති අති පූජ්‍ය ගල්බොඩ සිරි ඥානිස්සර හිමි අනුස්මරණ “නැණ ඉසුර – 2026” ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය. ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසනා පරිදි ක්‍රියාත්මක මෙම අරමුදල මගින් පහ වසර ශිෂ්‍යත්වය සමත් සිසු දරු දැරියන් 460 දෙනෙකු වෙත උසස් පෙළ අධ්‍යාපනය අවසන් වන තෙක් ලබාදෙන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ, රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පුනරුදයක් ඇති කිරීමට රජය කැපවී සිටින බවයි. දැනට පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව වෙනුවට දරුවාගේ කුසලතා, නිරීක්ෂණ ශක්තිය සහ සිතීමේ හැකියාව වර්ධනය වන ප්‍රායෝගික මෙන්ම පොතට පමණක් සීමා නොවූ ආකල්ප සහ භාවිතාවන් සහිත අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන අරමුණයි. ඒ හරහා විෂය මාලාවන් යාවත්කාලීන කරමින් නිදහස් අධ්‍යාපනය සුරැකීමට සහ ග්‍රාමීය මෙන්ම නාගරික පාසල් අතර පවතින පරතරය අඩු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම්, ගුරු හිඟය සහ තාක්ෂණික පහසුකම් සංවර්ධනය කිරීමට රජය කටයුතු කරමින් සිටී.













