ඩැනියුබ් නදියේ ජල මට්ටම වාර්තාගත ලෙස පහළ බැසීම හේතුවෙන්, රටේ එකම න්‍යෂ්ටික බලාගාරය දශක හතරකට වැඩි කාලයකට පසු පළමු වරට සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුව ඇති බව හංගේරියානු අගමැති පීටර් මගියාර් (Peter Magyar) ප්‍රකාශ කර තිබේ. ඉදිරියේදී තවත් උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බැවින්, රටට ඉතා තීරණාත්මක දින පහක් ඉදිරියේදී මුහුණ දීමට සිදු වනු ඇති බව ඔහු සඳහන් කර ඇත.
දීර්ඝ කාලයක් පවතින දැඩි උණුසුම සහ නියඟය හේතුවෙන් යුරෝපයේ බොහෝ ප්‍රදේශවල ගංගා මට්ටම් පහළ බැස ඇති අතර, එය ජල සැපයුමට, ගංගා ප්‍රවාහනයට සහ බලශක්ති උත්පාදනයට දැඩි ලෙස බලපා තිබේ. මෙම තත්ත්වය හමුවේ විදුලි පරිභෝජනය උපරිම වන අවස්ථාවලදී භාවිතය සැලකිය යුතු ලෙස අඩු කරන ලෙස අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා ඇති අතර, සඳුදා සිට විශාල සමාගම් සඳහා අනිවාර්ය විදුලි කප්පාදුවක් සිදු කිරීම සම්බන්ධයෙන්ද රජය අවධානය යොමු කරමින් සිටී.













