බුලත් විට, බාබුල්, තූල් සහ මාවා භාවිතය හේතුවෙන් වර්තමානයේ මෙරට තරුණ පරපුර අතර ශීඝ්‍රයෙන් මුඛ පිළිකා රෝගී තත්ත්වය පැතිර යන බව කොළඹ පිළිකා මර්දන ඒකකයේ ප්‍රජා දන්ත වෛද්‍ය විශේෂඥ ප්‍රසන්න ජයසේකර මහතා කුරුණෑගලදී ප්‍රකාශ කළේය.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, ලෝක හිස හා ගෙල ආශ්රිත පිළිකා දිනය නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සංවිධානය කළ දැනුවත් කිරීමේ පා ගමනකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය. ලංකාවේ පිරිමින් අතර වැඩිමයෙන් පැතිර ගොස් ඇති පිළිකාව මුඛ පිළිකාව වන අතර, වසරකට මුඛ පිළිකා රෝගීන් 3,805 දෙනෙකු පමණ වාර්තා වන බවත්, දිනකට අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු අලුතින් මුඛ පිළිකාවට ගදුරු වෙද්දී 3 දෙනෙක් මරණයට පත්වන බවත් ඔහු පෙන්වා දුන්නේය. පෙර පැවති තත්ත්වයට වඩා මාවා, බාබුල් සහ තූල් වැනි දුම්කොළ ආශ්රිත නිෂ්පාදනවලට තරුණ පරම්පරාව වැඩි වශයෙන් නැඹුරු වීම හේතුවෙන් වයසැති අයට වඩා තරුණ පරම්පරාව මුඛ පිළිකාවට ගොදුරු වීම වැඩි වී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














