ඉන්දියාවෙන් අඩු මිලට ගෙන්වන ලද කිරිපිටි, මෙරට ප්‍රධාන පෙළේ ප්‍රසිද්ධ කිරිපිටි වෙළෙඳ නාමයක නමින් ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද පෙට්ටිවල අසුරා අලෙවි කළ ජාවාරමක් මහනුවර වත්තේගම, ගුන්නෑපාන ප්‍රදේශයේදී අගෝස්තු 01 වන දින වත්තේගම පොලිසිය විසින් වටලා තිබේ.
ලද තොරතුරක් මත සිදු කරන ලද මෙම වැටලීමේදී සැකකරුවෙකු සමඟ ග්‍රෑම් 400 කිරිපිටි පැකට් 250ක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු තමන්ගේම වෙළෙඳසැලක් පවත්වාගෙන යමින් මෙම කිරිපිටි අලෙවි කර ඇති අතර, එක් පැකට්ටුවකින් රුපියල් 200ක පමණ ලාභයක් ලබමින් දිවයිනේ විවිධ ප්රදේශවලටද මේවා බෙදාහැර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධිමය දේපොළ පනත සහ පාරිභෝගික සේවා අධිකාරී පනත යටතේ සැකකරුට එරෙහිව නඩු පැවරීමට වත්තේගම පොලිසිය පියවර ගෙන ඇත.














