වවුනියාව දිස්ත්‍රික්කයේ ආර්ථික අපහසුතා සහිත දරු දැරියන්ගේ අධ්‍යාපන මට්ටම උසස් කිරීම අරමුණු කරගත් විශේෂ වැඩසටහනක් ඊයේ (02) දින වවුනියාව, පූන්තෝට්ටම් ශ්‍රී ලක්ෂ්මි නරසිංහර් සංස්කෘතික ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම වැඩසටහන සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, ප්‍රදේශයේ අධ්‍යාපන අවස්ථා වර්ධනයට වැදගත් පියවරක් ලෙස සැලකේ.
ශ්‍රී ලක්ෂ්මි නරසිංහර් අධ්‍යාපන සහ සමාජ සංවර්ධන පදනමේ මූල්‍ය දායකත්වයෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහන තුළ, ආර්ථික අපහසුතා මැද අධ්‍යාපනය ලබන පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් 150 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි. ඒ සමඟම, ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් කිහිපයකට මූල්‍ය ආධාර ලබාදීමද සිදුකරමින් සමාජ සත්කාරය තවදුරටත් ව්‍යාප්ත කරනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට මෙවැනි සමාජ සංවිධාන ලබාදෙන දායකත්වය අතිශය වැදගත් බවයි. එමෙන්ම, පූන්තෝට්ටම් කෝවිල මඟින් ක්‍රියාත්මක වන මෙම අධ්‍යාපන හා සමාජ සංවර්ධන පදනම ඉටුකරන සේවාව අනෙකුත් ආගමික සහ සමාජ ආයතන සඳහාද ආදර්ශයක් බවත් ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ජගදීශ්වරන්, සෙල්වම් අඩෙක්කලනාදන් සහ පී. සත්‍යලිංගම් යන මහත්වරුන් ද, වවුනියාව අතිරේක දිස්ත්‍රික් ලේකම් එන්. කමලදාසන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද, පූන්තෝට්ටම් ශ්‍රී ලක්ෂ්මි නරසිංහර් කෝවිලේ පාලනාධිකාරිය, සිසු දරුවන් සහ දෙමාපියන් විශාල පිරිසක්ද සහභාගී වූහ.














