මහර බන්ධනාගාරයේ සිද්ධිය වූ ස්ථාන අද (03) දිනයේදී රජයේ රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ලක්වීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ සිදුකර තිබේ. එසේම, සිද්ධියෙන් මියගිය රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුද අද සිදුකිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
බන්ධනාගාරයේ මුළුතැන්ගෙය සම්පූර්ණයෙන් ගිනිතබා විනාශ කිරීම හේතුවෙන් මේ වනවිට රැඳවියන්ට ආහාර පිසීම සඳහා ස්ථානයක් හෝ භාණ්ඩ කිසිවක් නොමැති බැවින්, ඔවුන්ට පිටතින් ආහාර ගෙනැවිත් දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මේ අතර, අද සිට දින 03ක කාලයක් රැඳවියන් සඳහා අමුත්තන් පෙන්වීම තාවකාලිකව නතර කර ඇත.
පසුගිය සෙනසුරාදා පස්වරුවේ හටගත් මෙම නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය සහ ත්‍රිවිද හමුදාව කැඳවා තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ මේ වනවිට පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ.














