මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයට පවත්නා අධික තදබදය යම් තාක් දුරට බලපාන්නට ඇති නමුත්, ඒ පිටුපස කිසියම් සංවිධානාත්මක බාහිර හස්තයක් ක්‍රියාත්මක වූයේද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම ගැටුම ප්‍රධාන වශයෙන්ම හටගෙන ඇත්තේ රැඳවියන් සහ බන්ධනාගාර පාලනාධිකාරිය අතරය.
කෙසේවෙතත්, මෙම ප්‍රචණ්ඩකාරී වාතාවරණය ඇවිලවීම සඳහා බාහිර පාර්ශ්වයන්ගෙන් යම් බලපෑමක් එල්ල වූයේද යන්න පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ. රජය විසින් දැනට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය විරෝධී විශේෂ මෙහෙයුම් හේතුවෙන් බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම සැලකිය යුතු ලෙස පාලනය වී ඇති අතර, මෙම නොසන්සුන්කාරී වාතාවරණය හටගැනීමට එයද එක් ප්‍රධාන හේතුවක් වන්නට ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. බන්ධනාගාරවල පවතින අධික තදබදය බරපතළ පරිපාලන හා මානුෂීය ගැටලුවක් බව පිළිගන්නා අමාත්‍යවරයා, මෙවැනි අර්බුදකාරී සිදුවීමකට එකම හේතුව එය නොවන බවද අවධාරණය කළේය.














